iranama
බුද්ධ පූජාව වැරදුණොත්...?
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
තම පරිභෝජනය සඳහා සකස් කර ගන්නා ආහාරපානාදියෙහි අග්‍ර කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම 'බුද්ධ පූජාව' ලෙසින් හඳුන්වනවා. මල්-පහන්-සුවඳ දුම් පිදීම වෙන පූජාවක්. එහෙත් අප මේ කතා කරන්නේ ආහාර ගිලන්පසාදිය පූජා කිරීමයි. මේක ප්‍රඥාසම්පන්න මිනිසුන් වෙසෙන පින්වත් නිවෙස්වල කෙරෙන්නක්. බුද්ධ පූජාව තැබෙන්නේ බුද්ධ කරුණාව ඇති නිවෙස්වලම පමණයි. ඉන් ඒ ඒ පුද්ගලයාගේ ආගමික පෞරුෂය පෙනෙනවා.
අග්‍ර කොටස බුදුන්ට පිදීම
ශතවර්ෂාධික කාලයක් මුළුල්ලේ අපේ නිවෙස්වල බුද්ධ පූජාව තැබුවේ තමන් ගෙදර උයා පිහා ගත් දේවල්වලින් විතරයි. ඒක තමයි අපේ සම්ප්රදාය වුණේ. ඒ මානසික අවබෝධයෙන් යුතුව තමයි බුද්ධ පූජාව තැබිය යුතු වන්නේ. තියන්නන් වාලේ බුද්ධ පූජාව තැබීම එකක්. ඒත් නොතියාම ඉන්නවාට වඩා එහෙම හරි බුද්ධ පූජාව තබන එක හොඳයි. ඒත් මේ පූජාව 'බුදුන්ට පූජා වේවා, ඉන් මගේ නැණ නුවණ වැඩේවා, ප්‍රඥාව දියුණු වේවා' කියන අවබෝධයෙන් ප්‍රාර්ථනයෙන් මේ පූජාව සිදු කළ යුතුයි.
කඩෙන් ගෙනත් තබන බුද්ධ පූජාව
කඩෙන් ගෙනත් බුද්ධ පූජාව තබන එක සුදුසුද යන්න නිතර ඇසෙන ප්‍රශ්නයක්. මීට ප්‍රඥාසම්පන්නව පිළිතුරක් දිය යුතුයි. කඩෙන් ගෙනත් බුද්ධ පූජාව තබන්න එපාට කියා නියමයක් කොතැනකවත් නැහැ. කඩෙන් ගෙනෙන ආහාරපාන ඉඳුල් වෙලාය ඒ නිසා ඒවායෙන් බුද්ධ පූජාව තැබීම නුසුදුසුයි කියන අදහස නිවැරැදි නැහැ. හරියට බැලුවොත් සමාජයේ ඉඳුල් නොවූ කිසිවක් නැහැ. ඒ නිසා තමන්ටය කියා කඩෙන් මිලදී ගෙනා ආහාරපාන තමන් ඉඳුල් කිරීමට පෙර එහි අග්‍ර කොටස බුද්ධ පූජාව වශයෙන් තැබීම වරදක් නැහැ. එහි පිනෙහි අඩුවක් වෙන්නේ නැහැ.
තුන්වේලටම ඕනෑ නැහැ
බුද්ධ පූජාව දවසකට කී වතාවක් තැබිය යුතුද, එක් වතාවක් ප්‍රමාණවත්ද යන්න බොහෝදෙනාට ගැටලුවක්. කාර්ය බහුල ජීවිත ගත කරන වත්මන් සමාජයේ වැඩිදෙනා උදේට ආහාර පිස එය තුන්වේලට ම ප්‍රයෝජනයට ගැනීමේ පුරුද්දක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා නිවෙසක බුද්ධ පූජාව තුන්වේලට ම තැබීම අවශ්‍ය නැහැ. සමහරක් කිසි දිනෙක සිය නිවෙසේ බුද්ධ පූජාව තබන්නේ නැහැ. ඇතැමුන් එය සතියකට සැරයක් නැත්නම් පුර පොහොය දාට පමණක් සිදු කරනවා ඇති. දිනපතා බුද්ධ පූජාව තබන කෙනෙකුට දිනක් දෙකක් බුද්ධ පූජාව තැබීම අතපසු විය හැකියි. එය පවක් හැටියට සැලකිය යුතු නැහැ. ඉන් පවක් වන්න විදිහක් නැහැ. නිතිපතා බුද්ධ පූජාව තබන අයකුට එක් දිනක් එය අතපසුවීම පවක් නම් කිසිදා පූජාව නොතබන අයට කොපමණ ද පව් සිදුවිය යුතුදැයි සිතන්න.
මස් මාළු නොතැබීම සංස්කෘතික පිළිගැනීමක්
බෞද්ධ නිවෙස් පන්සල් වගේ තිබිය යුතුයි. කායික මෙන්ම මානසික පිරිසුදු බවත් හැමදෙනාටම වටිනවා. එම නිසා බුද්ධ පූජාවට මස් මාළු තැබීම හොඳ නැහැ. ඒක අපේ සංස්කෘතික පිළිගැනීමක්. බුද්ධ පූජාව තබන අය ඊට පේවී ඉන්න ඕනෑ. රහමෙර ආදිය පානය කොට ඊට දායක වීම නුසුදුසුයි. මත්වතුර පානය මිනිසුන්ගේ දුර්වල මානසික ස්වභාවයක්.
දවල් 12න් පසු අස්කරන්න...
අසාමාන්‍ය අයුරින් බුද්ධ පූජාව තබන සමහර නිවෙස් ගැන අපට අහන්න දකින්න ලැබෙනවා. පාන්දර 2-3ටත් කිරි ආහාර පූජා පවත්වනවා. ඒවායේ ආගමික පරිසරය පමණට වැඩියි. ඒක බෞද්ධකම නෙමෙයි. කිසියම් මානසික තත්ත්වයක්. මානසික අර්බුද ආගමික ස්වරූපයෙන් ආ අවස්ථාවක්. බුද්ධ පූජාව තැබීම වගේම එය හූනන්ට, කපුටන්ට ගොදුරුවීමට ඉඩ නොතබා අස් කිරීමත් කළ යුතුයි. එය බුද්ධ පූජාව තැබීමෙහි ම කොටසක්. උදේට තබන බුද්ධ පූජාව තමන් පාතරාසය ගත් පසු අස් කිරීම සුදුසු වන අතර දහවල් බුද්ධ පූජාව මධ්‍යහ්න 12න් පසු අස්කිරීම සුදුසුයි.
බුද්ධ පූජාව කන එක පව් ද?
බුදුරදුන්ට පිළිගන්වා නියමිත වෙලාවෙන් පසු අස් කරන බුද්ධ පූජාව කෑමට ගැනීම සුදුසු ද යන්න ඇතැමෙකු අසන පැනයක්. බුද්ධ පූජාව තබන කිසිවකු එය කන්න බොන්න යන බවක් මා දැක නැහැ. අස්කළ බුද්ධ පූජාව බඩගින්දරෙන් සිටින අයකුට කෑමට දීම වරදක් නොවෙයි. ඒ තුළින් විශේෂ ආශිර්වාදයක් නැතත් පාපයක් ඇතැයි කියන්නත් බැහැ. බුදුරදුන් පවා කෙනෙකුට බණ දහම් දෙසූවේ කුසගින්දර නිවලා. එහෙත් බුදුරදුන්ට පිළියෙල කළ ආහාරය පූජාවට පෙර කෑමට ගැනීම වරදක්.
බුද්ධ පූජාව අල්ලසක් නොවේ....
බුද්ධ පූජාව තබා නොයෙක් වරදාන වරප්‍රසාද ප්‍රාර්ථනා කරන්න එපා. බුදු පියාණන්ගෙන් ඔබ ඉල්ලනවා නම් ඉල්ලිය යුත්තේ කරුණාවත් ප්‍රඥාවත් පමණයි. ඒ දෙක තිබෙනවා නම් ඔබේ ජීවිතයට තවත් මොනවාද ඕනෑ. ඔබේ දුක හැඟීම් බුදුරදුන් හමුවේ පැවසීම වරදක් නොවේ. එහෙත් බුද්ධ පූජාව අල්ලසක් විදිහට යොදා ගන්න සිතන්න එපා.
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks